දිනය 8 - 03-9-2017

අපේ ෂැංහයි නවාතැන
ෂැංහයි වල ගත කරන්න තියෙන්නෙ රාත්‍රී 3 යි. අද 3 වෙනි දවස. හෙට ආපහු අපේ රටට යනවා. ඒ හින්දා අද දවසෙ ගොඩක් බලන්න තියෙනවා.  උදෙන්ම හෝටලයෙන් එළියට ආ හැමෝම වාගෙ තමන් නවාතැන් ගත් හෝටලය ඉදිරියේ ඡායාරූප ගන්න යුහුසුළු වුනා.

 

අපේ කණ්ඩායමේ සිටි සෝරත හාමුදුරුවොයි, ආනන්ද හාමුදුරුවොයි,
මගේ හිතමිත්‍ර වික්‍රම මහත්තයයි එක්ක පිංතූරයක් ගත්තා.

'ජේඩ් බුද්ධ' පන්සල - Jade Buddha Temple

අපි මුලින්ම බලන්න ගියෙ ඉතා පැරණි බෞද්ධ විහාරයක්. එයට ජේඩ් බුද්ධ පන්සල කියන්නෙ, එහි ජේඩ් පාෂාණයෙන් තැනූ බුදුධ ප්‍රතිමාවක් තියෙන නිසා. ජේඩ් පාෂාණය ඉතා දුර්ලභයි. මෙහි ඇති පැරණි විහාර ගොඩනැගිල්ල එතැන සිට මීටර 15 ක් පමණ පසු පසට ගන්නට බලධාරින්ට අවශ්‍ය වෙලා. ඒත් එය කඩා ඉවත් කළොත් එහි ඇති පෞරාණික බව නැති වෙනවා. ඒ හින්දා ගොඩනැගිලි තාක්ෂණය යොදා ගෙන සමස්ත ගොඩනැගිල්ලම මීටර 15 ක් පසු පසට තල්ලු කරන්නයි ලැහැස්තිය. ගොඩනැගිල්ල යටින් හාරා කොන්ක්‍රීට් කදන් යොදා ඒ මත ප්‍රවේශම් තෙරපුමකින් මුළු ගොඩනැගිල්ලම තල්ලු කරනවා. චීන්නු හින්දම හොදයි.

 


එතැන සිද්දවෙන තාක්ෂණ අලකලංචිය 'ඇලෙක්ස්' අපට විස්තර කර දෙමින්

මෙහි සැදැහැවතුන්ගේ වන්දනා මාන හරිම අමුතුයි. චීන ජාතිකයන් බුදුන්ට කරන ලොකුම පූජාවක් තමා සුවදදුම් පූජාව. ඇත්තටම ඒ හදුන්කූරු එතරම් සුවද නැති වුවත් හදුන්කූරු මිටි ගණන් දල්වා, සතර අතටම වැද, පූජාකිරීමට ඇති බදුනට දැමීම ඔවුනගේ සිරිතයි.
 


ඒ වගේම අප දුටුවා රතු පැහැ කඩදාසි උර අතෙහි තබාගෙන, කිසියම් ප්‍රාර්ථනාවකින් පසු එය දැල්වෙන භාජනයකට දමා පුළුස්සා දමමින් ඉටු කරන චාරිත්‍රයක්. ඒ ගැන කරුණු විමසීමේ දී දැන ගත්තේ අපූරු තොරතුරක්. රිදී පැහැති කුඩා කඩදාසි වලින් ඔටුනු සාදා ගන්නවා. ( සැබැවින්ම අපි හදන කඩදාසි බෝට්ටුව)
 

ඒවා රතු පැහැ කඩදාසි මල්ලක දමා , තම පවුලේ මිය ගිය අයෙකුගේ නම ක් එහි ලොකු අකුරෙන් ලියනවා. අනතුරුව ගිණි දැල්වෙන භාජනය අසලට අවුත් එය දිගු කර ප්‍රාර්ථනා කර අවසානයේ එම රතු කඩදාසි මල්ල ගිණි ගොඩට දානවා. එවිට මිය ගිය තැනැත්තාගේ පරලොව ජීවිතයට අවශ්‍ය වන 'සල්ලි' ඔවුනට ලැබෙන බවයි චීන ජාතිකයන් විශ්වාස කරන්නෙ. ( ඇත්තටම මෙය 'සල්ලි' ලබා දීමක් නොව පරලොව ගිය අයට 'පිං අනුමෝදනා කිරීමක්' ලෙසයි පිළිගත හැක්කේ.



 





සේද කර්මාන්ත ශාලාව - ( Silk Factory )

සේද කර්මාන්තය චීනයට අතීතයේ පටන් ආවේනික කර්මාන්තයක්. චීන සිල්ක් රෙදි ලොව පුරා විහිද ගියේ ඈත අතීතයේ පටන් එහි පැමිණි වෙළෙදුන් හා වෙනත් සංචාරකයන්ගේ මගින්. ඔවුන් චීනය හරහා මැද පෙරදිගිනුත් ඈතට ගමන් ගත් මාර්ගය සේද මාර්ගය- Silk Road ලෙස අතීතයේ හැදින්වුවා.

සිල්ක් කර්මාන්ත ශාලාවේ විස්තර කරන්නා..
අපේ ජයනිගේ සිංහල විස්තරය..

පීපල්ස් ට්‍රැවල්ස් වෙනුවෙන් ෂැංහයි වල සංචාරක ආයතනය සූදානම් කරන නැරඹුම් ස්ථාන අතරට සිල්ක් කර්මාන්තශාලාවක් එක් කර තිබෙන්නේ සිල්ක් කර්මාන්තය සිදුකෙරෙන ආකාරය අපට දැක බලා ගන්නට මෙන්ම අපූරු සිල්ක් රෙදි වර්ග මිළදී ගන්නටක් අපට අවස්ථාවක් සළසා දෙන්නයි. ඒත් පසුදා ලංකාවට යන්නට ඉන්න අප කාගේත් පොකැට් වල තිබූ මුදල් ඒ වන විට අන්තිම යුආන් එක දක්වා අඩුවී තිබෙන නිසා කවුරුත් එතරම් සිල්ක් මිළදී ගත්තේ නම් නැහැ.


ඉතිරි වන හැම කාලයක්ම සාප්පු සවාරි සදහා ලබා දී තිබුනා. කුඩා බෑගයක් රැගෙන චීනයට පැමිණි බොහෝ දෙනා මුලින්ම මිළදී ගත්තේ දැවැන්ත ගමන් බෑගයක්. ඉන් පසුව එය පිරෙන කල් බඩු එකතු කළා. දඹදිව යන වයෝවෘද උපාසකම්මලා බොහොමයක් ඉන්දියාවට ගොඩබට මොහොතේම මාර්ගෝපදේශකයාගෙන් අහන්නේ " අනේ මහත්තයො බුද්ධගයාවට යන්නෙ කවදද? " කියලා නෙවෙයි.

" මහත්තයා... ෂොපින් යන්නෙ කවදද..?" කියලා.  ඒ ටිකම තමා අපේ කණ්ඩායමේ ඇතැම් අය ගැන කියන්න තියෙන්නෙ.

No comments:

Post a Comment