දිනය 3 - 29.8.2017


තුන්වන දිනයේ උදය ආහාරයෙන් පසුව අප ගියේ ජේඩ් පාෂාණ කර්මාන්තශාලාවක් නරඹන්නයි. ජේඩ් යනු තිරිවාන මෙන් පොළොවේ ඇති පාෂාණ වර්ගයක්. ඒවා කදුකර ප්‍රදේශවලින් කැණීම් කර සොයා ගන්නවා. ඉන්පසුව විවිධ හැඩ තග රූප නිර්මාණය කරන අතර, තුන්වැනි අදියර වන්නේ ඒවා ඔප දැමීමයි.  ජේඩ් වලින් බුදු පිළිම හා වෙනත් රූප මෙන්ම කර මාල, වළලු ආදී ආභරණ ද නිර්මාණය කරනු ලබනවා.

ජේඩ් වලින් තැනූ බුදු රුවක්


ජේඩ් වලින් තැනූ ආභරණ
ජේඩ් වලින් තැනූ ආභරණ





 චීන මහා ප්‍රාකාරය

චීන මහා ප්‍රාකාරය නැරඹීමේ ප්‍රවේශ පත්‍රය

දේශ සංචාරයට ප්‍රිය කරන කෙනෙකු වෙතොත් ඔවුනගේ ජීවිත සිහිනයක් වනුයේ ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස හදුන්වන 'චීන මහා ප්‍රාකාරය' නැරඹීමයි. පීපල්ස් ට්‍රැවල්ස් චීන සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් වනුයේ මෙම අපූර්තම නිර්මාණය සියැසින් දැක ගන්නට ලැබීමයි. වසර 2300 කට වඩා පැරණි මෙම මහා
ප්‍රාකාරය කි.මීටර් 21,196.18 ක් එනම් සැතපුම් 13,170.7 ක් දිගින් යුතු බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරනවා. වසර 5 ක මැණුම් මිණුම් ගැනීමෙන් පසුව 2012 ජූනි මස 5 වනදා මෙම දුර ප්‍රමාණය නිල වශයෙන් ප්‍රනාශයට පත් කරනු ලැබුවා.

චීනයේ පළමු අධිරාජයා වන කුයින් විසින් ක්‍රි.පූර්ව 221-207 කාලයේ මෙය ආරම්භ කරන ලද බවක් ප්‍රකාශයට පත් වුවද, ඊටත් පෙර ක්‍රි.පූර්ව 770-221 කාලයේ ප්‍රාදේශීය පාලකයෙකු වන කුයි විසින් අනිකුත් ප්‍රාදේශීය රාජ්‍යයන්ගෙන් එල්ල වන ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට තම දේශ සීමාව දිගේ මෙවැනි තාප්පයක් ඉදි කර ඇති බව දැන් සොයා ගෙන තියෙනවා. පළමු අධිරාජ්‍යයා වූ කුයින් විසින් චීනයේ උතුරු මායිම ආරක්ෂා කර ගැනීම සදහා යි මෙම ප්‍රාකාරය ඉදි කර තිබෙන්නේ. අනතුරුව හැන් අදිරාජ්‍ය සමයේ එනම් ක්‍රි.පූර්ව 220 - 206 කාලයේ හැං අධිරාජයා විසින් 'සේද මාවතේ' වෙළදාම් ආරක්ෂා කර ගැනීම සදහා තවත් කොටසක් ඉදි කරනු ලැබ තියෙනවා. කෙසේ වෙතත් චීන මහා ප්‍රාකාරය ඉදි කිරීමේ උවමනාව ඇතිවූයේ වෙනත් සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වීම හා සේද මාවත ආරක්ෂා කර ගැනීමටයි. එකල චීනයේ ජනගහනය ලක්ෂ 10 ක් පමණ වී ඇති අතර, ඉන් 1/5 ක් එනම් ලක්ෂ 2 ක පිරිසක් සෙය ඉදිකිරීමේ සේවකයන් ලෙස කටයුතු කර තිබෙනවා. ඉදිකිරීමේදී මිය ගිය ලක්ෂ ගණනක ගේ සිරුරු මෙම මහා පාකාරය තුළම මිහිදන් කර ඇති බවයි දැනගන්නට ලැබුනේ. ඉදිකිරීම් කළ කාලයන් හා පුද්ගලයන් පිළිබදව තොරතුරු දැක්වෙන මෙම සටහන උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.



චීන මහා ප්‍රාකාරයේ ජුයොන්ගුආන් (Juyongguan Section) කොටසෙන් තමා අපට එය නැරඹීමට හැකි වන්නේ. චාරිකාව සූදානම් කරලා තියෙන්නෙ එහෙමයි. චීන මහා ප්‍රාකාරය හදලා තියෙන්නෙ කදුකර ප්‍රදේශවල, විශේ්ෂයෙන් මොංගෝලියාව වැනි රටවලින් එන සතුරු ආක්‍රමණ නවත්වන්න නිසා මෙය ඉදිකර තිබෙන්නේ කදුවැටි යා කරමින්.
           
දෙවෙනි කොටස තරණය කළ පිරිසෙන් කොටසක්
ඒ හින්දා තැනිතලාවක, වාහනයක යනවා වාගෙ සුව පහසුව මෙහි ඇවිදින්න බෑ. සිරීපාදෙ නගිනකොට හමුවන මහගිරිදඹේ ටත් වඩා උස පඩිපෙළවල් තරණය කරන්න ඕනෙ. ඉහලට නගින්න නම්. බොහෝ අයට එතරම් උසට නැග ගන්නට බැරි වුනා. ප්‍රාකාරයේ තැනින් තැන එදා සෙබලුන්ගේ මුරකුටි ලෙස තැනූ ස්ථාන දකින්න පුළුවන්. අප එය නැරඹූ කොටසේ එවැනි ප්‍රධාන කුටි 3 ක් තිබුනා. එහි 3 වැන්න හුගක් ඈතයි. ඒත් අප සමග ගිය ස්වාමීන් වහන්සේ නමක් හා තවත් එක් අයෙකු එතැනට ගියා. අප 8 දෙනෙකු පමණ දෙවැනි කුටිය අසලට ගියා. ඒ ගමන හරිම විනෝදයි. චීන ජාතිකයන් දහස් ගණනක් තම දරුවන් ද සමග දිනපතා මෙය නරඹන්න එනවා. අන්තර්ජාලයේ තොරතුරු අනුව එක්  නැරඹුම් කොටසකට පමණක් එක් දිනකට නරඹන්නන් 70,000 ක් පැමිණෙන බවයි දැන ගත්තේ. ඒ හැම කොනකුම මුදල් ගෙවා ප්‍රවේශපතක් මිළදී ගන්න ඕනෙ.

චීන මහා ප්‍රාකාරය මත හිගා කෑ ප්‍රථම මිනිසා
දෙවැනි මුර කුටියට ගිය අපි එතැන ' පිස්සුම පිස්සුවක්' කෙළියා. එක් අයෙකු අරන් ගිය පාන් සහ සීනි සම්බෝල ' දන්සැලක්' ලෙස අප කණ්ඩායමට ( 8 දෙනාට) බෙදා දුන්නා. එය චීන මහා ප්‍රාකාරය මත දුන් ප්‍රථම 'පාන් දන්සැල' ලෙස ඉතිහාසයේ ලියැවෙන්න ඇති.  අවසානයේ මටත් ලේන්සුවක් එලාගෙන හිගාකන්නත් සිදුවුනා. එය අපූරු විනෝදබර සිදුවීමක්. කොහොම හරි චීන මහා ප්‍රාකාරය මත හිගා කෑ මුල්ම පුද්ගලයා ලෙස මා ද ඉතිහාසයේ නම සටහන් කර ගත්තා.
                                                                                          
මේ දෙන්නත් අපේ ආරක්ෂාවට අප අසළමයි..
 
අහුවෙන අහුවෙන තැන කුරුටු ගී ලියන අය
මෙතැනටත් ඇවිත් තියෙනවා..
කොහොම උනත් කෙනෙකුට ජීවිතයේ කලාතුරකින් දකින්න ලැබෙන මේ අසිරිමත් නිර්මාණය සියැසින් දකින්න හැකි වීමත්, එහි කොටසක් තරණය කරන්නට ලැබීමත් පීපල්ස් ට්‍රැවල්ස් වෙතින් ලැබුනු ලොකු තිළිණයක්..
චීන මහා ප්‍රාකාරය තරණය කළාම ඒ අසල තිබෙන වෙළදසලකින්
සිහිවටනයක් තනා ගන්න පුළුවන්. එහි නමයි, දිනයයි ඒ මොහොතෙම
සටහන් කරලා දෙනවා. වැඩේ හොයාගත්තෙ මමයි. ඒක එල්ලගෙන
ඉන්නකොට උඩට නැග්ග අයයි, නැති අයයි හැමොම තමුන්ගෙ නම්
කොටා ගත්තා කියාපල්ලකො



මේ ඉන්නෙ අපිත් එක්ක සංචාරයට එක් වුනු සෝරත හාමුදුරුවොයි,
ආනන්ද හාමුදුරුවොයි. උන් වහන්සෙලා දෙන්නම නුවර, ගම්පොල ප්‍රදේශයෙ.

ලින්ගුආන් විහාරය හෙවත් චීන දළදා මාලිගාව

බුදුන් වහන්සේගේ එක් දළදාවක් තැන්පත් කර ඇති ලින්ගුආන් විහාරයේ ෂාවෝ ෂියැං තා දාගැබ

අපේ ඊළග නැරඹුම් ස්ථානය වුනේ ලින්ගුආන් විහාරය හෙවත් චීන දළදා මාලිගාව යි. එහි ඉතිහාස කතාව මෙහෙමයි. බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ආදාහනය කරන ලදුව එහිදී දන්ත ධාතුන් දෙකක් ඉතුරු වූ බවත්, ඉන් එකක් පසුව සිලෝන් හෙවත් ශ්‍රී ලංකාවට වැඩම කරන ලද බවත්, අනෙක පළමුවෙන්ම 'උද්දියානා' (දැන් පකිස්ථානය) වෙතත්, පසුව යූ වෙන්(Yu Wen) එනම් දැනට චීනයේ සින්ජියෑං හි (Xinjiang, China)  හොතාන් ප්‍රදේශය වෙතත් ( Hotan Country ) ගෙන ආ බවත් චීන ඉතිහාසයේ සදහන් වී තිබෙනවා.පසුව 5 වන සියවසේ දී සුප්‍රසිද්ධ ෆා හියැං (Fa Xian) භික්ෂුව එහි පැමිණ එම දන්ත ධාතුව එවකට කුයි අධිරාජයේ (Qi Dynasty) අගනුවර වූ ජියැං කාන් ( අද නැන්ජින් ) වෙත රැගෙන ගොස් තිබෙනවා. ඉන් පසු කළෙක සුඉ
අධිරාජයා බලයට පත් වීමෙන් පසුව එය චැන්ගන් (Chang'an) වෙත රැගෙන ගොස් අනතුරුව එවකට අග නගරය වූ බෙයිජිං වෙත රැගෙන ගොස් තිබෙනවා. අවසානයේ උතුරු ලියාවෝ අධිරාජ්‍යයා බලයට පත්වූ කළ ( ක්‍රි.ව. 907-1125)  වර්ෂ 1071 දී ලින්ගුආන් විහාරයේ අති ගෞරවණීය සාවො ෂියෑං තා (Zhao Xian Ta) දාගැබ තුළ සුරැකිව තැන්පත් කර ඇත.

මෙම දාගැබ මීටර් 51 ක් උසින් යුතු අතර, මහල් 13 ක් පෙනෙන සේ ඉදිකර තිබෙනවා. මෙහි ඇතුලත තට්ටු 7 ක් දැකිය හැකියි. මෙය පොළොව මට්ටමෙන් මීටර් 2.7 ක් උස්වන සේ ඉදිකළ සුදු කිරිගරුඞ අත්තිවාරමක් මතයි ගොඩනගා තියෙන්නෙ. මෙහි ඇතුලත මීටරයක් උස තනි පිරිසිදු රනින් සෑදූ කුඩා දාගැබක් තුළ දළදාව සුරැකිව තැන්පත් කර තිබෙනවා.

දළදා වහන්සේට සජීවී මල් පෝච්චි වලින් පූජාවන් කිරීම මෙහි සිරිතක්
 







අපේ සෝරත ලොකු හාමුදුරුවන්ට ලාමා හාමුරුවන්ගෙන් සෙල්ෆි ඉල්ලීමක්




2008 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උද්‍යානය - ක්‍රීඩාංගනය (Beijing Olympic Garden)


3 වන දවසේ අපේ අවසන් නැරඹුම් ස්ථානය වූයේ 2008 වසරේ චීනයේ බෙයිජිං නගරයේ පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ඉදි කළ ක්‍රීඩාංගනය හා උද්‍යානය නැරඹීමයි. එය නැරඹිය හැකි වන්නේ පිටත අංගනයේ සිට පමණි. ඒ තුළ ඇවිද යාමට අපහසු අය ට සුළු මුදලක් ගෙවා නැරඹුම් වාහනයක නැගී යා හැක.







.... කියලා... වැඩක් නෑ.. ෆොටෝ... ෆොටෝ....

මෙහි ඈතින් පෙනෙන්නේ රූපවාහිනී වාර්තාකරුවන් සදහා
ඉදි කළ කුළුණ බවයි දැනගත්තෙ..







ගෘහස්ත ක්‍රීඩා පිටින ඈතින්...



කමෙන්ට් එකක් ලියලම යන්න..

No comments:

Post a Comment