දිනය 6 - 01-9-2017

ටෙරාකොටා පිළිරුවක් බවට පත් වූ
ශ්‍රී ලංකාවේ සොල්දාදුවෙක්
ටෙරාකොටා කිව්වාම අපට නිතැතින්ම මතක් වෙන්නෙ අපේ නිවෙස් වල එළිමහනට විවෘත ආලින්ද වල පොළොවට සවිකරන  මැටි ටයිල් වර්ගයක්. ඇත්තටම ටෙරාකොටා කියන්නෙ විශේෂිත මැටි වර්ගයක්. එයින් තනන භාණ්ඩ පිගන් ගඩොල් පුළුස්සන්නාක් මෙන් පුළස්සා ගත් විට සවිමත් වෙනවා. චීනයේ ෂියෑං නගරයට ආසන්නව ඇති ලොව සුප්‍රසිද්ධ ටෙරාකොටා සොල්දාදුවන් නරඹන්නට යන අතරමග දී අපව කැදවාගෙන ගියේ ටෙරාකොටා කර්මාන්ත ශාලාවකට. එහි මැටි ගුලියක සිට සුන්දර නිර්මාණයක් නිම කරන තුරු ගමන් මග ගැන අවබෝධයක් ලැබුනා. නමුත් එහි අලෙවියට තිබූ සිහිවටන නම් කිසිවෙකු මිළදී ගත්තේ නෑ. ඒත් මතකයට එක් කර ගත් අපූරු ඡායාරූප රැසක් ගන්නට අපේ කවුරුත් උනන්දු වුනා.

 



ටෙරාකොටා සොල්දාදුවන් - Terracotta Warriors 





ෂියෑං නගරයට එන හැම සංචාරකයෙකුගේම ප්‍රධාන නැරඹුම් ස්ථානය වෙන්නෙ ටෙරාකොටා සොල්ලාදුවන් හමුවූ ස්ථානයයි.  අහම්බෙන් හමුවී ඇති මේ අපූරු ස්මාරකය 1987 සිට යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ආරක්ෂා කරනු ලබනවා. සජීව මිනිස් ප්‍රමාණයෙන් 8000 ක යුධ හමුදාවක්, අශ්වයන් හා අශ්ව රථ ටෙරාකොටා මැටියෙන් සාදා ඇති මේ අපූර්ව පුරාවිද්‍යා නිධිය හමු වී ඇත්තේ අහම්බෙන්. ෂියෑං හි ෂාන්ෂි ප්‍රදේශයේ (Shaanxi Province ) , ලී කදුවැටි අසල ටින්ටොන්ග් ගම්මානයේ විසූ

යැං ජිඩ් නම් ගොවියා 1974 මාර්තු 29 වෙනිදා  ගමේ අනිකුත් ගොවි හිතවතුන්ගේ ද සහය ඇතිව ළිදක් කණිමින් සිටියදී අහම්බෙන් මෙන් මෙම සොල්දාදු රූ කීපයක කොටස් හමුවීමත් සමග වසර දහස් ගණනක් වැලැලී ගොස් තිබූ අතීත නිධානය මතුවූවා. ඔහු රජයේ බලධාරින්ට දැනුම් දීමෙන් පසුව ප්‍රදේශයේ කැණීම් ආරම්භ වුනා. කැබලි වී ගොස් තිබූ සොල්දාදු ප්‍රතිමා කොටස් මෙන්ම නිරුපද්‍රිතව තිබූ ප්‍රතිමා ද පුරාවිද්‍යා නිලධාරින්ට හමු වුනා. එහි ඉතිහාසය සොයා බලද්දී අතීත කතාන්දරය හෙළි වුනා.


දෙවැනි වලෙහි ඇති අශ්ව රූප
ක්‍රි.පූර්ව 210 දී පමණ චීනය පාලනයට ගත් පළමු අධිරාජයා වන ක්විං ෂි හුවාං ( Qin Shi Huang ) , තමා ට ආරක්ෂාව සළසමින් තමා සමග සිටි සොල්දාදු හමුදාව මෙසේ ටෙරාකොටා ප්‍රතිමා ලෙස නෙලා ඇති බව සොයා ගනු ලැබුවා. ඔහුගේ නමෙහි ෂි හුවාං යන්නෙහි තේරුම - ප්‍රථම අධිරාජයා යන්නයි. මෙම පළමු අධිරාජයා මරණින් මතු ජීවිතයක් විශ්වාස කළ අයෙක්. ඒ නිසා තමා මිය ගියාට පසුවත් තම හමුදාව ප්‍රතිමා
ටෙරාකොටා වොරියර්ස් ප්‍රතිමා සොයාගත් ගොවියා
යෑං ජිඩි ( Yang Jide) සමග ඡායාරුවක් ගන්නටත් පුළුවන්
ලෙසින් හෝ තමා අසළ, තමා හා වාසය කළ යුතු බව අදහස් කොට ජීවත් සිටි අවදියේම සොල්දාදු රූප නෙලන්නට පටන් ගත්තා. සෑම සොල්දාදුවෙකුම ජීවමාන ලෙස වෙන වෙනම නිර්මාණය කර ඇති නිසා මෙම ටෙරාකොටා සොල්දාදුවන් එක් අයෙකු අනෙක් අයෙකුට සමාන නැහැ. මේවා නෙලීමෙන් පසුව වෙන වෙනම වලවල් වල  ඔවුන් තැන්පත් කර තිබෙනවා. පළමු වලෙහි සොල්දාදුවන් දහසක් පමණ තැන්පත් කර ඇති අතර, දෙවෙනි වලෙහි අශ්ව රථ රැසක් හා අශ්වයන් රැසක් තැන්පත් කර තිබෙනවා දැකිය හැකියි.
සමස්ත ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම කැණීම් කර අවසන්ව නැති අතර, මෙහි ඇති සොල්දාදුවන් ගණන 8000 ක් මෙන්ම අශ්ව යුධ රථ 130 ක්, අශ්වයින් 520 ක් හා තවත් 150 ක අශ්වාරෝහක බලඇණියකගේ පිළිරූ මෙහි ඇති බවට ගණන් බලා තිබෙනවා.

පිළිරූ වලට උඩින් වහලක් තැනීම සදහා සවිකළ දැව කදන්
 
මෙම රූප තැන්පත් කිරීමෙන් පසුව දෙපැත්තෙන් පළල් කණ්ඩි දෙකක් තාප්ප සේ ඉදි කොට ඒවා හරහා විශාල දැව කදන් යොදා වහලයක් ගසා ආරක්ෂා කොට තිබුන ද පසු කළෙක ඇතිවූ බූ කම්පත හා වෙනත් ස්වාභාවික ව්‍යසන  හේතුවෙන් එම සුවිසල් වහල කැඩී වැටී මෙම ටෙරාකොටා සොල්ලාදුවන් කැඩී බිදී ගොස් ඇති බව දැන් සොයා ගෙන තිබෙනවා. සොල්දාදු ප්‍රතිමා තැන්පත් කිරීමෙන් පසුව තමා මිය ගිය මිට තම දේහය තැන්පත් කරන්නටද සොහොන් ගෙයක් ඒ අසලින්ට අධිරාජයා තනා තියෙනවා. ඔහුගේ දේහය පසුව එහි තැන්පත් කර ඇති අතර, එම සොහොන තිබෙන ස්ථානය මේ වන විට සොයා ගෙන තියෙනවා. එහෙත් අනාගත ජනතාවට අළුත් දෙයක් දකින්නට අවශ්‍ය වන නිසා දැනට එහි කැණීම් තනර කොට ඉදිරි කාලයට කල් දමා තිබෙනවා.

 මිස්ටර් ශ්‍රී නිමල් අපි දෙන්නගෙ පොටෝ එකක්.. අනේ ප්ලීස්.. එකම එකක්..
( නියම ටෙරාකොටා ජෝඩුව)



 

අද දවස තුළ වරින් වර ශානිකා ගෙන් නායකත්වය උදුරා ගත් දෙදෙනෙක්..


ෂියෑං නගර ප්‍රාකාරය  - Xian City Wall


අපගේ මීළග නැරඹුම් ස්ථානය වූයේ ෂියෑං නගර තාප්පයයි.




වර්ෂ 1368 - 1644 අතර කාලයේ චීනය පාලනය කළ මිංග් පෙළපතේ පළමු අධිරාජයා වූ ෂූ යුවංෂෑංග් ට තම පාලන නගරය වටා ආරක්ෂිත බැම්මක අවශ්‍යතාව ඇති වුනා. ඉතා පැරණි ටෑංග් පෙළපතේ දී ඉදිකර තිබූ පැරණි බැම්මක් දිගින් පළලින් වැඩි කොට අළුතෙන් ඉදි කරන්නට අධිරාජයා තීරණය කළා. අළුතෙන් තැනුවාට පසු මීටර 12 ක් එනම් අඩි 40 ක් උසින් යුතුවද, පතුලේ පළල අඩි 50-60 අතර වන සේ හා මුදුනේ
පළල අඩි 40-46 ක් වන සේ තැනුනු මෙම ආරක්ෂක තාප්පය දිගින් කි.මීටර් 13.7 ක් එනම් සැතපුම් 8.5 ක් වන සේ නිම වුනා. සමස්ත තාප්පය වටා මුදුනේ අඩ බිත්ති බැද ඇති බැවින් සොල්දාදුවන්ට තමාව සතුරන්ට නොපෙනෙන පරිදි නගරයේ ආරක්ෂාවේ යෙදෙන්නට හැකි වුනා. එමෙන්ම එම බිත්ති බැම්ම නිසා සොල්දාදුවන් තාප්පයෙන් බිමට ඇද වැටීමෙන් ද ආරක්ෂා වුනා. මෙය දැනට ඉතාමත්ම සුරක්ෂිතව ඇති ලොව එකම නගර ආරක්ෂක තාප්පයයි.




 



                                             සිටි වෝල් මත දී හමුවූ චීන සිසුවියන් දෙදෙනෙක්. 




බුදු දහම චීන බසට පෙරැළු විහාරය හා දාගැබ - Big Goose Pagoda ( Wild Goose Pagoda )




අපගේ මීළග නැරඹුම් ස්ථානය චීනය ඉතාම වැදගත් බෞද්ධ විහාරස්ථානයක් හා දාගැබක්. මෙයට බිග් ගූස් හෝ වයිල්ඩ් ගූස් එනම් ලොකු පාත්තයාගේ දාගැබ හෝ වල් තාරාවාගේ දාගැබ ලෙස නම් කර ඇත්තේ ඇයිදැයි කිව නොහැක. එහෙත් එහි ඇති වැදගත් කම ඉතා වටිනා දෙයකි.

මෙම දාගැබ ඉදිකර ඇත්තේ ටෑංග් පෙළපත චීනය පාලනය කළ සමයේදී . ඒ ක්‍රි.වර්ෂ 618-907 කාලයේදී. ඒ යුගයේ ඉදි කළ මුල් ගොඩනැගිලි කාලගුණ බලපෑම්, යුද්ධ හා වෙනත් හේතු මත වරින් වර විනාශ වී ගිය ද එහි නම ඒ අයුරින්ම පවත්වාගෙ ඇවිත් තියෙනවා. අධිරාජයාගේ නියෝග මත මෙම දාගැබ හා ගොඩනැගිලි ඉදිකර
තිබෙන්නේ බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් චීන බසින් ලියවා රජුට හා ජනතාවට උගැනීමට සැලැස්වීමයි. ඒ අනුව ප්‍රධාන භික්ෂුන් වහන්සේ නමක වූ ෂුආන්ෂෑං (Master Xuanzang)  වෙත පන්සල බාරදී එම කටයුත්ත පවරා තියෙනවා. 

උන් වහන්සේ ඉන්දියාවට ගොස් බුදු දහම පිළිබද සංස්කෘත බසින් ලියැවී තිබූ පොත පත චීන භාෂාවට හරවා එහි අන්තර්ගතව තිබූ විඤාණය, කර්මය හා යළි ඉපැදෙන සංසාර ගමන පිළිබදව හදාරා එම දහම අධිරාජයා වෙත චීනයට රැගෙන විත් තියෙනවා. පසු කළෙක මෙම ධර්මතාවන් උගන්වන බෞද්ධ පාඨශාලා පවා චීනයේ බිහිවී තියෙනවා. පැගෝඩාව හෙවත් මෙම දාගැබේ ඉදිකිරීම් අවසන්ව ඇත්තේ වර්ෂ 652 දී. මහල් 5 කින් යුතු ලෙස මුලින්ම ඉදි කළ දාගැබ පසුව වර්ෂ 701-704 කාලයේ දී මහල් 10 ක් තෙක් වැඩි දියුණු කර තියෙනවා. එහෙත් යුධ බලපෑම් මෙන්ම 1556 දී ඇතිවූ බිහිසුනු භූමි කම්පාවකින් ඒ සියල්ල යළි නටබුන් බවට පත් වී ඇත. පසුව යළි මහල් 7 ක් වන සේ ඉදිකළ නව දාගැබ අද දක්වා එලෙසම තිබේ. මෙය චීනයේ ඇති ප්‍රධානතම බෞද්ධ විහාරස්ථානයක් වන අතරම චීනයට ථෙරවාද බුදු දහම නිසි ලෙස හදුන්වා දුන් ස්ථානය ලෙස ද සැලකෙනවා.




                                      



No comments:

Post a Comment